පාසලේ ඉතිහාසයෙන් බිදක්
කළුබෝවිටියන වූ කලී දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර වූ මොරවක් කෝරළයට අයත් ගමකි.සදාහරිත තුරු ලතාවන්ගෙන් ද සනීපදායක දේශගුණයෙන් ද සමන්විත කළුබෝවිටියන ග්‍රාමයට මුහුදු මට්ටමින් අඩි 2413 ත් උසැති කළුබෝවිටියන ගල් කන්ද පදනම් කොටගෙන එහි නම පට බැදී ඇතැයි ජනප්‍රවාදයේ එයි.
මාර/කළුබෝවිටියන මහ විදුහල 1928 මැයි මස 25 වන දින කටු මැටි ගැසූ බටකොළ සෙවිලි කල කුඩා ගොඩනැගිල්ලක ආරම්භ විය.එම කාලයේ පාසලේ විදුහල්පතිතුමා ලෙස ඒ.ද.අල්විස් මහතා සහ ඔහුගේ සහයට තවත් එක් ගුරු මහතෙකු සේවය කර ඇති අතර සෑම වයස් කාණ්ඩයකටම අයත් සිසුන් 21 දෙනෙකු අධ්‍යාපනය ලබා ඇත.1955 උස්බිම් ජනපද ව්‍යාපාරය යටතේ කළුබෝවිටියන ජනපදය පිහිටුවීමත් සමගම ජනගහනයද වැඩි විය.ඒ අනුව 1963 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 204 දක්වා වැඩි වු අතර ගුරු මණ්ඩලය 7 දක්වා වැඩි විය.
1977.03.01 දින සිට මෙම විද්‍යාලය මහ විද්‍යාලයක් බවට පත් කිරීමට ඇල්බට් විතාරණ විදුහල්පතිතුමා සමත් විය.උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් පසු 1982 වර්ෂයේ මුල්ම ශිෂ්‍යා විශ්ව විද්‍යාල වරම් ලබාගෙන ඇත.මුල්ම දෙමහල් ගොඩනැගිල්ලට 1989 වර්ෂයේ මුල්ගල තබන ලදි.ඉන් අනතුරුව අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් 2004 වර්ෂයේ ආරම්භ කරන ලදි.2006 වර්ෂයේ සිට අ.පො.ස උසස් පෙළ වාණිජ විෂය ධාරාව ආරම්භ කර ඇත.